
දරු ප්රසූතියේ මුල් අවස්ථාවේ පසුවන මව්වරුන්හට, ගර්භාෂයේ සංකෝචන (ප්රසව වේදනා) ආරම්භ වූ විට කළ යුතු දෑ පිළිබඳ දැනුවත් කිරීමසඳහා මෙම තොරතුරු පත්රිකාව සකස් කර ඇත.
මෙය විලිරුදාව ලෙසද හදුන්වයි.
ගර්භාශ බිත්ති සංකෝචනය වීම ආරම්භ වීම.
ප්‍රසූත ක්‍රියාවලිය ආරම්භ වීමේ දී ඔබේ ගර්භාශය සංකෝචනය වීම හා ලිහිල් වීම සිදු වේ. ඔබ තත්පර 30 කට වඩා පවතින ක්‍රමවත්, වේදනාකාරී සංකෝචනයන් අත්විඳීමට පටන් ගත්තේ නම්, ඔබේ ප්‍රසූත ක්‍රියාවලිය ආරම්භ වී තිබීමට පුළුවන.
මෙම සංකෝචනයන් ක්‍රමයෙන් අඩු කාල පරතරයන් සහිතව (එකෙනට ලං ලංව ) ඇති වනවා මෙන්ම එම සංකෝචනයන් වඩා දීර්ඝ කාලයක් පැවතීමත්, ප්‍රබල වීමත් සිදු වේ.
ඔබේ ගර්භාශය සංකෝචනය වන විටදී වේදනාව වැඩිවනු ඇති අතර ගර්භාශය ලිහිල්වන විටදී වේදනාව පහව යනු ඇත.
මෙම සංකෝචනයන් මගින් කුස තුළ සිටින බිළිඳා ගර්භාශයේ පහලට තල්ලු කරනවා මෙන්ම, ගැබ් ගෙල විවර කිරීම ද සිදු කරනු ලබයි.
මේ සමඟ ලේ තැවරුනු යෝනි ශ්‍රාවයන් පිටවීම හෝ ජල පසුම්බිය (water bag) කැඩීම ද සිදුවිය හැකිය.
දරු ප්රසූතියේ මුල් අවස්ථාව යනු කුමක්ද?
දරු ප්රසූතියේ මුල් අවස්ථාව යනු ගර්භාෂ බිත්ති (මාංශ පේශි)සංකෝචනය ආරම්භ වන අවස්ථාවේ සිට දරු ප්‍රසූතිය ස්ථාපිත වන තෙක් කාලයයි. මෙම කාලය තුලදී දරුවා බිහිකිරීම සඳහා ඔබේ සිරුර සූදානම් වෙයි.
මෙම අවධියේ ස්වභාවය සහ එය පවත්නා කාල සීමාව මවකගෙන් මවකට සැළකිය යුතු ලෙස වෙනස් විය හැකිය.
කෙසේ නමුත්, මෙම අවධියේ දී සාමන්‍යයෙන් මව්වරුන් වරින් වර සිදුවන වේදනාකාරී ගර්භාෂ බිත්ති සංකෝචනය වීම් අත්විඳියි. ඒ සමඟ ගැබ් ගෙල තුනී වීම හා එය සෙන්ටි මීටර 4ක් දක්වා විවර වීම සිදු වෙයි.
දරු ප්රසූතියේ මුල් අවස්ථාව සිදුවන්නේ කුමක්ද?
දරු ප්රසූතියේ මුල් අවස්ථාවේ දී ගර්භාෂයේ මාංශ පේශි අක්‍රමවත් ලෙස සංකෝචනය වීමක් සිදුවෙයි. එමගින් ගැබ් ගෙලෙහි ස්වභාවය ප්‍රසවයට අවශ්‍ය පරිදි සකස් කෙරේ.
කාලයත් සමඟම, එම සංකෝචනයන් ගැබ් ගෙල මත ඇති කරන බලපෑමෙන් ගැබ් ගෙල මෘදු වී, සිහින් වී, ඇදෙන සුලු ගතියකට පැමිණෙයි. ඉන්පසු ගැබ් ගෙල විවර වීමට පටන් ගනියි.
දරු ප්රසූතියේ මුල් අවස්තාවේ පසුවන මව්වරුන් බලාපොරොත්තු විය යුත්තේ මොනවාද?
ඔබට වේදනාකාරී ගර්භාෂයේ මාංශ පේශි සංකෝචනය වීම් (ප්‍රසව වේදනා) අත්විඳීමට සිදු වේවි. සමහර මව්වරුන් හට එය ප්‍රසූත වේදනාව යැයි විශ්වාස කර නොහැකි අන්දමට මද වේදනාවක් පමණක් දැනෙන නමුත් තවත් සමහර අම්මාවරුන්ට එය දරාගැනීමට නොහැකි වන වේදනා නාශක ද අවශ්‍ය වන තරම් වූ වේදනාවක් ද එනු ඇත. එවිට එම මව්වරුන්ව රොහල් ගත කිරීමටද සිදුවේ
ගර්භාෂ බිත්ති සංකෝචනයවීම්වල ස්වභාවය මවගෙන් මවට වෙනස් වෙයි.
ඔබට දැනෙන වේදනාව සාමන්‍යය එකක්ද යන්න ගැන ඔබට සැක සහිත නම්, වහාම පවුල් සෞඛ්‍ය සේවිකාව හෝ වාට්‍ටුව අමතන්න.
ක්‍රමවත් සංකෝචනය වීම් පැය කිහිපයක කාලයක් පැවතී, ඉන්පසු සම්පූර්ණයෙන්ම නැවතී යාම සුලබව සිදු වෙයි. මෙය සම්පූර්ණයෙන්ම සාමන්‍ය සිදුවීමක් වන අතර එමගින් සිදුවනුයේ ඔබගේ සිරුර දරුවා බිහි කිරීම සඳහා ක්‍රමක්‍රමයෙන් සූදානම් කරවීමයි. මෙසේ සිදුවන විට ඔබ පහසුවෙන් වැතිරී නිදාගැනීමට උත්සහ කරන්න. වේදනාව සඳහා පැරසිටමෝල් පෙති දෙකක් පානය කරන්න.
ලේ තැවරුනු සෙවල වැනි ශ්‍රාවයක් / ශ්ලේශ්මල කැබැල්ලක් ( show) පිට වීමක් සිදුවිය හැක. යෝනි මාර්ගයෙන් ලේ පිටවීම (නරක් නොවූ) තේ හැන්දකට වඩා වැඩි නම් හෝ එම ප්‍රමාණය අස්වාභාවික යැයි ඔබට සිතේ නම් ළඟම පිහිටි රෝහලට කරුණාකර පැමිනෙන්න.
ඔබේ ජල පසුම්බිය (water bag) කැඩී යාමට පුලුවන. එකවරම හෝ සෙමින් යෝනි මාර්ගයෙන් වතුර වැනි ශ්‍රාවයක් පිටවනවා දැනුනේ නම් කරුණාකර ළඟම පිහිටි රෝහල වෙත පැමිනෙන්න.
දරුවාගේ හිස ගර්භාශයේ පහළට ක්‍රමයෙන් එන විට ඔබට උකුල් ප්‍රදේශයේ තද පිඩනයක් හෝ තෙරපුමක් දැනීමට පුළුවන.
යෝනි ශ්‍රාවයන්ගේ වැඩි වීමක්ද දැකගත හැකි වේවි. කෙසේ නමුත් ඔබට කිසියම් සැකයක් පවතී නම් ළඟම පිහිටි රෝහලට පැමිණීම වඩා යෝග්‍ය වේ.
කෙතරම් වේලාවක් දරු ප්රසූතියේ මුල් අවස්ථාව පවතීද?
මෙහි කාල සීමාව පැය හයක සිට දින දෙකක් හෝ තුනක් දක්වා විය හැකිය. මෙම කාල සීමාවන් අතර මෙතරම් වෙනසක් පවතින්නේ මන්ද යන්න කිසිවෙකු නිශ්චිතව නොදනී. මෙය ඔබ ගැබ් ගත් මුල් අවස්ථාව එනම් පලමු වන ගර්භණීභාවය නම්, මෙම ප්‍රසූතියේ මුල් අවස්ථාව වඩා දිගු හා වෙහෙසකර විය හැකිය.
සමහර අවස්ථාවලදී ඔබ වාට්‍ටුවට වී පැය 24 කට වඩා සිටියද දරුවා ප්‍රසූත කරන මොහොත ආරම්භ නොවනු ඇත.
ප්‍රසූතියේ මුල් අවස්ථාවේදී ඔබට සහනයක් ගෙන දියහැකි දෑ මොනවාද?
මද රස්නය සහිත ජලය බේසමක ඉද ගෙන ගිමන් හරින්න.
කිසියම් හෝ ක්‍රියාකාරකමක නිරත වෙමින් වේදනාව අමතක කිරීමට උත්සාහ කරන්න.
මදක් ඇවිදීමෙන්ද ඔබට යම් සහනයක් දැනෙනු ඇත.
ඔබේ ආගමට අනුව ගාථා හෝ පාඨයන් කියවීමෙන්ද ඔබේ ගතට සහ සිතට සහනයක් ගෙන දෙනු ඇත.මෙය තම ආත්ම විශ්වාසය වර්ධනය වීමටද ඉවහල් වේවි.
ගර්භාෂ බිත්ති සංකෝචනය වන අවස්ථාවකදී හුස්ම ගැනීම සම්බන්ධයෙන්ද ඔබේ අවධානය යොමු කරන්න. ඔබට සංකෝචනයක් එනම් දැඩි වේදනාවක් දැනෙනවා සමඟම සෙමෙන් හුස්ම පිට කරන්න. මෙසේ වේදනාවන් සමඟම සෙමින් දිගු හුස්ම පිට කරමින් ඔබේ සිරුර සැහැල්ලු කිරීමට උත්සාහ කරන්න.
බාම් ආලේප කිරීමෙන් සහ සම්භාහනය (මසාජ්) කිරීමෙන් ඔබට අස්වැසිල්ලක් ලැබිය හැකිය. නිවසේදි කර ගත හැකි මෙවැනි අත් බෙහෙත් මගින් හානියක් සිදු නොවේ.
ඔබගේ ආහාර රටාව එලෙසම පවත්වා ගෙන යමින්, ප්‍රසූතිය සඳහා අවශ්‍ය ශක්තිය ගොඩ නගා ගන්න.
දියර වර්ග හැකි තරම් පානය කර සිරුර විජලනයෙන් වළක්වා ගන්න.
එමෙන්ම නිරතුරුව මුත්‍රා පිටකර මුත්‍රාශය හිස්ව තබා ගැනීමට වග බලා ගන්න.
සැතපී නොසිට ඇවිදිමින් කාලය ගත කිරීමට උත්සාහ කරන්න.
රෝහලට රැගෙන යා යුතු බෑගය පෙර සූදානම් කර තබන්න.
සංකෝචන ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා නම්, එනම් වේදනාව අධික හා එක දිගට තිබේ නම් රෝහල වෙත පැමිණෙන්න.
වහාම රෝහල වෙත පැමිණිය යුත්තේ කවර අවස්ථාවලදී ද?
ඔබේ ජල පසුම්බිය(water bag) කැඩී ඇති බවට සැක සහිත විට දී
(මෙහිදී යෝනි මාර්ගයෙන් දියරයක් එකවරම ගලා ඒමක් හෝ ඉතා සෙමින් එවැනි ශ්‍රාවයක් පිටවීමක් සිදුවේ. මෙමගින් වෝටර් බෑගය (water bag) කැඩී ඇති බව හඳුනා ගත හැක.)
ඔබේ කුස තුල සිටින බිළිඳා වෙනදා මෙන් එනම් සැලකිය යුතු අන්දමින් ඳඟලන්නේ නැති බවක් දැනෙන්නේ නම්
ලේ ගැලීමක් සිදුවෙන අවස්ථාවේ දී
ක්‍රමයෙන් ත්‍රීව්රවන රිද්මයානුකූල ප්‍රසව වේදනා සමග ඔබේ ප්‍රසූති ක්‍රියාවලිය ඉදිරියට ගමන් කරමින් පවතින බවට ඔබට දැනෙන විට දී
(වරින් වර සංකෝචනයන් දෙකක් අතර විරාමය (එක් සංකෝචනයක් ආරම්භයේ සිට අනෙක් සංකෝචනය ආරම්භ වන තෙක්) හා එක් සංකෝචනයක් පවතින කාල සීමාව පිළිබඳව අවදානය යොමු කරන්න. කෙසේනමුත්, හුදෙක් ඔරලෝසු වෙලාවට සීම නොවන්න. වඩා වැදගත් වනුයේ ඔබට දැනෙන දෙයි. බොහෝ අවස්ථාවලදී ඔබට සංකෝචනයන් මගින් වඩා සැළකිලිමත් විය යුතු කාලය පැමිණ ඇති බවට ඔබට දන්වයි.)
ඔබට වෙනත් රෝගාබාදයක් (අපස්මාරය (ෆිට් එක), හදවතෙහි රෝග, දියවැඩියාව) සහිත නම්
පෙර ගර්භනී අවස්ථාවලදී, ප්‍රසූතිය ඉක්මනින් සිදු වූයේ නම්
ඔබේ දරු ගැබට සති 37කට වඩා අඩු නම් (නොමේරූ දරු උපත්)
ඔබේ වේදනාව විරාමයක් නොමැතිව අඛන්ඩව පවතී නම්
ඔබට පෙර ප්‍රසවයකදී යම් ගැටළුවක් ඇති වුණි නම් ( මළ දරු උපතක්, රුධිර වහනයක්, සිසේරියන් ශල්‍ය කර්මයක්)
ඔබ රෝහලට පැමිණි පසු සිදුවනුයේ කුමක්ද?
වෛද්‍යවරයෙකු ඔබේ තත්වය පරීක්ෂා කරනු ලබයි.
ඔබේ රෝග ලක්ෂණ මත වෛද්‍යවරයා විසින් ගැබ්ගෙල පරීක්ෂණයක් (vaginal examination) සිදු කරනු ඇත.
හෙදියක හෝ පවුල් සෞඛ්‍ය සේවිකාවක විසින් ඔබේ කුස තුල සිටින බිළිඳාගේ හද ගැස්ම පරීක්ෂා කරනු ඇත. අවශ්‍ය නම් සී.ටී.ජී. (CTG) පටියක් ලබාගනු ඇත.
ඔබ වේදනාවෙන් පසුවන්නේ නම් ඔබට අවශ්‍ය, සුදුසු වේදනානශකයක් ලබා දෙනු ඇත.
ඔබට ඇවිදිමින් කාලය ගත කිරීමට දිරිමත් කරනු ඇත.
ඔබේ සංකෝචන වේදනාවන් ක්‍රමවත් වූ පසු හා ගැබ් ගෙල සුදුසු පරිදි විවර වී ඇති විටෙකදී ඔබව ප්‍රසූතිකාගාරයට ඇතුලු කරනු ලබයි.